කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් වී සිටින හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න එම වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙසට ඉල්ලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (18) මෝසමක් ගොනු කළා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ.
සිය නිතීඥවරුන් මගින් රාජිත සේනාරත්න ගොනු කළ මෙම මෝසමෙන් ඉල්ලා තිබුණේ අල්ලස් කොමිසමේ සිදුවන විමර්ශනයකට අදාළව තමන්ට නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එම මෝසම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකළේ පැමිණිලි පාර්ශ්වය අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින්.
මෙම සිද්ධිය හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අද (18) අධිකරණයේ පෙනී සිටිමින් සඳහන් කරනු ලැබුවේ, පසුගිය 12 වෙනිදා අධිකරණ නිවාඩු සතියක අල්ලස් කොමිසම හමුවට මෝෂන් පත්‍රයක් ගොනුකරමින් සිය සේවා දායකයාට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඇතැයි යන්නයි.
මෙහිදී ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ, අල්ලස් කොමිසම අධිකරණය නොමඟ යවමින් අදාළ වරෙන්තුව සිය සේවාදායකයාට එරෙහිව ලබාගෙන ඇති බවයි.
සිය සේවාදායකයා මෙම අධිකරණය හමුවේ ගෙනුකළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මේ වන විට ප්රතිශෝධන ඇප ඇයැඳුමක් ගොනුකර තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසුවා.
ජනාධිපති නිතීඥවරයා කියා සිටියේ, පසුගිය දා අදාළ ප්රතිශෝධන පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය විසින් පෙත්සම සම්බන්ධව කරුණු දක්වන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන නොතිසි නිකුත් කෙරුණු බවයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව සිය සේවා දායකයාට එරෙහිව වරෙන්තුවක් ලබා ගැනීමට අපේක්ෂා කළේ නම් එය මහාධිකරණයේදී ඉල්ලා තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පැවසුවේ ඉකුත් 12 වැනිදා අංක තුන මහේස්ත්‍රාත් උසාවියේ මහේස්ත්‍රාත්වරයා නොමඟ යවා සිය සේවා දායකයාට එරෙහිව අල්ලස් කොමිසම නොතෙසි ලබාගෙන ඇතැයි යන්නයි.
එබැවින් සිය සේවාදායකයා අල්ලස් කොමිසම නොමඟ යවා නොමැති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ සිය සේවා දායකයාට එරෙහිව නිකුත් වී ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ පැමිණිලි පාර්ශවය අධිකරණය හමුවේ පෙනී සිටින දිනයක මෝෂන් පත්‍රයක් ගොනුකර ඉල්ලීම නැවත සිදු කරන ලෙසයි.