නීතිවිරෝධීව මුදල් උපයා ඇද්දැයි සොයන්න හිටපු ඇමති පොලිසියට කැඳවයි

මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ලබන 20 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ‍හිටපු අමාත්‍යවරයා විසින් සිය වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබ ඇතැයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසනවා.

මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට ‍එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපතිවරයා යි.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යධූරය දරන කාලයේදී නීතිවිරෝධී ආකාරයෙන් දේපල හෝ වත්කම් උපයාගෙන ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට එම පැමිණිලිකරු ඉල්ලා ඇතැයි ද පොලීසිය පවසනවා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනයේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කර ලබන 20 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතිබව පොලිසිය සඳහන් කරනවා.