මැලේසියාවේ, බුකිත් තම්බුන් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
‘බර්නාමා’ පුවත් සේවය වාර්තා කළේ, මැලේසියානු පොලිසිය වැටලීම් දෙකක් සිදුකරමින් හෙරොයින් නිෂ්පාදනාගාරයක් සාර්ථකව වටලා ඇති බවයි.
මෙම වැටලීම්වලදී මැලේසියානු ජාතිකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පළමු වැටලීම තමාන් තම්බුන් පෙර්මායි හි පිහිටි නිවසකදී සිදු කර ඇති බවයි සඳහන්.
එහිදී මැලේසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ හෙරොයින් ග්‍රෑම් 1,113ක්, අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.
ඒ සමග කැෆේන් කිලෝග්‍රෑම් 4ක් සහ තවත් රසායනික ද්‍රව්‍ය හා උපකරණ තොගයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
දෙවන වැටලීමේදී සිටි ශ්‍රී ලාංකිකයා කැෆේන් කිලෝග්‍රෑම් 26ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම වැටලීම් දෙකෙන් අත්අඩංගුවට ගත් සියලුම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මැලේසියානු රිංගිට් 74,500ක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ජාවාරම්කරුවන් ජනවාරි මාසයේ සිට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවත්, ඒවා මැලේසියානු වෙළෙඳපොළට අලෙවි කිරීමට සූදානම් කර ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් මැලේසියානු ජාතිකයින් දෙදෙනා මීට පෙරද මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අතර, ශ්‍රී ලාංකිකයාට එරෙහිව කිසිදු අපරාධ වාර්තාවක් නොමැති බවයි පොලිසිය පවසන්නේ.
මෙම ජාවාරමෙන් අත්අඩංගුවට ගත් මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය මත්ලෝලීන් 49,500කට ප්‍රමාණවත් බව ද මැලේසියානු බලධාරීහු පවසනවා