AI භාවිතය ගැන රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමට වැඩමුළුවක්

ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය සූදානම් විය යුතු බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය.

ජනාධිපති ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ, ‘AI for Transforming Public Service’ මැයෙන් පැවැති වැඩමුළුව අමතමිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා අමාත්‍යාංශ දහයක විධායක නිලධාරීහු එක්ව සිටියහ.

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් වූ මෙම වැඩමුළුව ඊයේ (16) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගනිමින් ජනතාවට වඩා හොද සේවාවක් ලබාදීමට අවධානය යොමු කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ, සමිස අබේසිංහ මහත්වරු ඇතුළු එම ආයතනයේ නිලධාරීහු මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සැපයූහ.

මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල විධායක නිලධාරීහු සහභාගි වූහ.