අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සන්නිවේදන පුහුණු වැඩසටහන් මාලාවක්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සන්නිවේදන කුසලතා ඔප් නැංවීමේ අරමුණින් ​පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මෙහි පළමු වැඩසටහන මෙම මස 20 – 22 වැනිදා දක්වා තෙදින නේවාසික වැඩමුළුවක් ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ පිහිටි සේවා සංස්කරණ පුහුණු මධ්ය්ස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.එම දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන් සහ ව්‍යාප්ති නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් මාලාව පැවැත්වේ.

මෙම සමාරම්භක වැඩසටහන සඳහා කඳුරට ගුවන් විදුලියේ හිටපු අධ්‍යක්ෂ සමන් ජයරත්න ,මාධ්‍ය හා සන්නිවේදන කුසලතා විශේෂඥ/දේශක දිශාන්ති කොඩිතුවක්කු ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සම්පත් දායකත්වය ලබා ගැනේ.

අපනයන කෘෂිබෝග හෙවත් කුළුබඩු ක්ෂේත්‍රයට අදාලව වත්මන් රජය ක්‍රියාත්මක කරන අපනයන කෘෂිමහිම ජාතික වැඩසටහන තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම සන්නිවේදන කුසලතා පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව පවත්වනු ලබයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු සේවා සංස්කරණ පුහුණු මධ්ය්ස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ දිසානායක මහතා දිනමිණට අදහස් දක්වමින් පැවැසුවේ මෙම වැඩමුළු මාලාව මඟින් කුළුබඩු ක්ෂේත්‍රයට අදාලව දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන කටයුතු වඩාත් පුළුල් හා අර්ථවත් කිරීමට හැකිවන බවයි.එසේම එමඟින් අපනයන කෘෂි මහිම ජාතික වැඩසටහනේ අපේක්ෂිත සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමටද පහසුවන බවත් විධිමත් පුහුණුව තුළින් වඩාත් ඵලදායී ලෙස සන්නිවේදනයේ යෙදීමටත් ක්ෂේත්‍ර නිලධාරීන්ට මහජනතාව සමඟ සමිපව කටයුතු කරන්නටත් ඒ තුළින් හැකිවන බවත් දිසානායක මහතා අවධාරණය කළේය.