දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීමේ විවාදය අද පැවැත්වෙයි

පාර්ලිමේන්තුව අද (05) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙරවරු 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 4.00 දක්වා 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමටත්, ප.ව 4.00ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටත් නියමිතයි.

ප.ව 4.15 සිට ප.ව 5.30 දක්වා ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කිරීමටත්, ඉන්පසු ප.ව 5.30 සිට ප.ව 6.00 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමටත් නියමිතයි.