වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා නොදුන් නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට පියවර

2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් එම ප්‍රකාශ ලබා නොදෙන්නේ නම්, ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, පසුගිය මාර්තු 31 වැනි දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන සභාවට භාරදීම සඳහා ආයතන ප්‍රධානියා වෙත භාරදිය යුතු අවසාන දිනය පසුගිය ජුනි මස 30 වැනි දින ලෙස වන බවයි එම කොමිසම සඳහන් කළේ.

2025.06.30 දින සිට 2025.08.31 දින දක්වා භාරදෙනු ලබන ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දඩ අය කිරීමක් සිදුකරන බවද, ඒ අනුව මෙතෙක් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් සිටී නම් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තම ආයතන ප්‍රධානියාට භාරදී තමන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද එම කොමිසම දැනුම් දෙනවා.

එමෙන්ම තවදුරටත් ජුනි 30 දිනට පසුව ඉදිරිපත් කරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ ද ආයතන ප්‍රධානී විසින් භාරගත යුතු බවත්, යම් හෙයකින් ආයතන ප්‍රධානීන් විසින් එසේ භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දන්වා සිටින ලෙසයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.