මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉන්දියාව ලබාදෙන මුදලේ පළමු කොටස නිකුත් කරයි

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 14.89ක වියදමින් ණයක් ලෙස ඉන්දීය රජයෙන් දීමට යෝජනා කර තිබුණ ද 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ඉන්දීය රජය විසින් එය ප්‍රදානයක් බවට පරිවර්තනය කර තිබුණා.

ඉන්දීය ආධාර ඇතිව, උතුරු මාර්ගයේ ධාවන පථ පැයට කිලෝමීටර 100 දක්වා දුම්රිය වේගයට සහාය වන පරිදි වැඩිදියුණු කිරීමට නියමිතව ඇති අතර මීට සමගාමීව දියුණු සංඥා පද්ධතියක් හරහා මගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම තුළින් දුම්රිය සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි සඳහන් වෙන්නේ.

මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, ව්‍යාපෘතිය 2026 අගෝස්තු වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා.