තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අද ආරම්භ වෙයි

තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අද (28) මලයාසියාවේ ක්වාලාලම්පූර් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තායිලන්තය සහ කාම්බෝජය විසින් ඔවුන්ගේ දේශසීමා ගැටුමේ මැදිහත්කරුවෙකු ලෙස මැලේසියාව කටයුතු කිරීම සම්බන්ධයෙන් එකඟ වී ඇති බවයි මලයාසියානු විදේශ අමාත්‍ය මොහොමඩ් හසන් සඳහන් කර ඇත්තේ.

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) සඳහන් කළ අතර, දෙරටේ නායකයන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදවලදී මේ සම්බන්ධයෙන් එකඟතාවට පැමිණි බවද ඔහු සඳහන් කර තිබුණා.

මේ වනවිට තායිලන්තය සහ කාම්බෝජය අතර ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 33 දෙනෙකු මිය ගොස්, 200,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ‍.