පාර්ලි‍මේන්තුව හෙට සිට 25 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (22) සිට 25 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, හෙට දිනයේ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත සංශෝධනය සඳහා) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එසේම සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) සහ සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වයම විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජූලි 23 වැනිදා සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 24 පැවැත්විමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.