කිරි ගවයින් වෙනුවට ඉහළ තත්ත්වයෙන් යුත් ගව ශුක්‍රාණු ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඒ අනුව, හොඳම සතුන් ලබාදීම සඳහා ආනයනික ලිංග නිර්ණය කළ ගව ශුක්‍ර ආනයනය කර, ඒ තුළින් ඉතාමත්ම දියුණු සතුන් 15,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවෙන් සතුන් ගෙනැවිත් විශාල විනාශයක් සිදුවූ බවත්, ඒ ගවයින් ලෙඩ සහිත බවත්, මෙරටට නොගැලපෙන බවත්, ඒ ලෙස ගවයින් ගෙන්වීම තුළින් විශාල අකටයුතුකම් ප්‍රමාණයක්ද සිදුවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ හේතුවෙන්, ගවයින් ගෙන එනවා වෙනුවට, එම දියුණු සතුන්ගේ තෝරාගත් ශුක්‍රාණු අපේ රටට ගෙනැවිත් මෙරට සතුන්ට උචිත ලෙස කිරි කර්මාන්තය ගොඩනැගීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් පිටරටට ඇදී යන බවද, එය අවම කර ගැනීම සඳහා කිරි කර්මාන්තය ඉහළට ඔසවා තැබීම තම ඉලක්කය බවද ඔහු පවසා සිටියා.