නීතිවිරෝධීව කුළුබඩු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන ආ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගෙන ති‍බෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු කැබ් රථ දෙකක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එම කැබ් රථ දෙකෙහි අසුරා තිබූ නීති විරෝධීව ආනයනය කරන ලද එනසාල් කිලෝ 300ක්, කහ කඩු කිලෝ 260, වියළි ඉඟුරු කිලෝ 273 ඇතුලු කුළුබඩු තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

මේ සමගම සැකකරුවන් සිව් දෙනෙකු සහ කැබ් රථ දෙකද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 39 සහ 49 වයස්වල පසුවන එරක්කන්ඩි, කල්මුනෛකුඩි, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.