ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා සූප ශාස්ත්‍රයට අදාලව සූපවේදයට පෙරවදනක්, අංගසම්පූර්ණ කේක් සහ පේස්ට්‍රි අත්පොත, කේක් ඩෙකරේටර්, බේකරි ශිල්පය මුල සිට සරලව, කටට රසට, ගමේ කෑම සහ චීන රස මතක වැනි ග්‍රන්ථ රැසක් ප්‍රකාශයට පත්කර ඇත.

ඔහු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, ආසියානු ලංකා හෝටල් පාසල ඇතුළු ආයතන රැසක සූප ශාස්ත්‍රය පිළිබඳ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත. එපමණක් නොව සුමින්ද ලියනගේ මහතා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ විෂය මාලා සංවර්ධන කටයුතුවල සම්පත් දායකයෙකි.

කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂයෙකු වන කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා මහරගම තරුණ සේවා සභාවෙන් සහ ලංකා හෝටල් පාසලෙන් සූපවේදය පිළිබඳ අධ්‍යාපනය හදාරා ඇත.

කොළඹ ප්‍රධාන තරු පහේ හෝටල් රැසකට සිය සේවය සපයා ඇති ඔහු සිංගප්පූරුව සහ දකුණු කොරියාවේ සේවය කොට ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබා ඇත.