වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තරුණයින් 08 කට බරපතළ තුවාල

මාතර සිට නුවරඑළිය බලා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් අට දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, මෙම අනතුර අද (10) අලුයම 5:00ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වටරවුම ආසන්නයේ ඩෙස්ෆෝඩ් වත්ත ප්‍රදේශයේදී සිදුව ඇති බවයි.

වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි නානුඔය පොලිසිය සඳහන් කළේ.

අනතුරින් වෑන් රථයට ද දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

තුවාල ලැබූවන් ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රපාතයෙන් ගොඩගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, අනතුර සිදුවන ආකාරය නානුඔය ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේ වෙළෙඳසලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ බවද පොලිසිය සඳහන් කරයි.