බන්ධනාගාරවල සිටිය හැක්කේ 12,000ක් වුවත්, දැන් 33,000ක් ඉන්නවා – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් වුවත්, මේ වනවිට ඒවායේ 33,000ක් රඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පවසනවා.

දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක්ද මේ වනවිට පවතින බවයි අද (09) කැඳවා තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.

මේ වනවිට බන්ධනාගාරගතව ඇති පිරිසෙන් 65% ක් බන්ධනාගාරගතව සිටින්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බවද, මෙලෙස බන්ධනාගාරගත වන පිරිස් අවම කිරීමට කටයුතු කළ යුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

බන්ධනාගාර නිලධාරීන් සමස්තයක් ලෙස හොඳින් කටයුතු කරන බවත්, අතලොස්සක් පිරිස විසින් කරන යම් යම් වැරදි නිසා විශ්වාසය පළුදු වී ඇති බවත්, සමස්තයක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව හොඳ තත්ත්වයක පවතින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.