හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම නැඟෙනහිර පළාතේ මහ ඇමැතිවරයකුව සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ මෙහෙයවීමෙන් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ සිදු වූ බව කියන මනුෂ්‍ය ඝාතන, පුද්ගල පැහැර ගැනීම්, අතුරුදන් කිරීම්, වධකාගාර පවත්වාගෙන යෑම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් කෙෙරන විමර්ශනවලට අදාළව තිරුක්කෝවිල්හි පදිංචි ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (07) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මේ වන විට මෙම අපරාධ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව පිල්ලෙයාන් ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ පිල්ලෙයාන්වය. ඒ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කෙරෙන අතර එහිදී අනාවරණය වූ ඇතැම් තොරතුරු සහ විමර්ශන ඔස්සේ සෙසු සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පසුගිය 06 සහ 07 යන දෙදින තුළය. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පිල්ලෙයාන් සමඟ සිටි සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ජනපති සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කර ඇති කුමාරස්වාමි පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී ද සිටියි. පසුගිය කාලයේ ඔහු ප්‍රභූ ආරක්ෂාවක් යටතේ සිට ඇති බවත් අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු බහා තිබූ ගබඩාවට 2022 වසරේදී ගිනි තැබීම මෙහෙයවා ඇත්තේ ඔහු විසින් බවටත් තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සැකකරුවන්ට අමතරව පෙරේදා (07) අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා පුෂ්පකුමාර් නමැති 44 හැවිරිදි වියේ පසුවන අයකු වන අතර ඔහු ද පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ සිටි ක්‍රියාකාරිකයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හඳුනාගෙන ඇත. මෙදිනම අක්කරපත්තුවේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි වියේ පසුවන ඒ. යුවරාජ් නමැති අයකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ හැරුණු කොට පසුගිය 06 වැනිදා ඉනියා භාරතී සමඟ එස්. තවසීලන් නමැති 44 හැවිරිදි වියේ පසුවන අයකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත්තේය.