හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඇතුළු පිරිසට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔවුන්ගේ නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුවන් තිදෙනෙකුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් සහ එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත ඔවුන් මුදා හැරීමටත්, සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව යළි නොවැම්බර් 14 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රේගුවේ නිෂ්කාශනය නොවී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් මෙම පිරිස සැකපිට අත්අඩංගුවට පත්ව සිටියා.