මිල මදි කියන ගොවීන්ට කෘෂි නි. ඇමතිගෙන් උත්තර

වී සඳහා නියම කර ඇති සහතික මිල මගින් ගොවියාට කිසිදු අසාධාරණයක් නොවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

කුරුණෑගල පැවැති වැඩසටහනකදී සහල් සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි

උතුර, නැගෙනහිර ඇතුළු ප්‍රදේශ කිහිපයක යල කන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල ආරම්භ වී ඇති අතර, ඒ අනුව වී මිලදී ගැනීම සදහා අස්වනු නෙලන ප්‍රදේශවල පමණක් රජයේ වී ගබඩා විවෘත කිරීමට වී අලෙවි මණ්ඩලය පසුගියදා පියවර ගත්තා.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේ මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා 05ක්, මඩකලපුව දිස්ත්‍රික්කය තුළ එක් ගබඩාවක්, නැගෙනහිර කලාපය තුළ ගබඩා 3ක් සහ උතුරු කලාපය තුළ ගබඩා 3ක් වශයෙන් විවෘතව පවතින බවයි.

එවැනි පසුබිමක ගොවි සංවිධාන සහ ගොවීන් චෝදනා කරන්නේ වී සඳහා ලබා දී ඇති සහතික මිල ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර, පාලන මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කළ මඩවල ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකුට තෙල්දෙණිය දිසා විනිසුරුවරිය රුපියල් එක්ලක්ෂ පනස්දහසක දඩයක් නියම කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් නගරයේ සිදුකළ වැටලීමකදී මෙම නඩුපැවරීම සිදු කර තිබුණා.