මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක්

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා කළුතර ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීම පිළිබඳ ව මෙන් ම රෝහලේ පවතින ගැටළු කිහිපයක් පිළිබඳ ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයක් ස්ථාපනයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු දියත් කරමින් සිටියි.

ඊට අදාල සංවර්ධන කටයුතු කළුතර නාගොඩ රෝහල තුළ සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මුලික කර ගනිමින් මේ වන විටත් ක්‍රියාත්මක අතර, ඒ අනුව මෙම සාකච්ඡාවේ දී එම කටයුතුවලට අදාළ ව පසුවිපරම් කටයුතු, යටිතල පහසුකම්, මානව හා භෞතික සම්පත් කළමනාකරණ මෙන් ම කාර්ය මණ්ඩල කළමනාකරණ කටයුතු පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් ඉදිරි වසර තුනක කාලය තුළ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන තෙක් දැනට පවතින අඩුපාඩු කළමනාකරණය කර ගනිමින් කටයුතු පවත්වාගෙන යාම ඉතා කාලෝචිත බව පැවසී ය. තව ද, මහාචාර්ය ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයූතු ද කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අවධාරණය කළේ ය.

කළුතර ගල්ලස්ස විශේෂිත මාතෘ හා ළමා රෝහලේ ළමා රෝග එ්කකයේ ප්‍රතිකාර සේවාවන් මෙන් ම, සියලු උපකරණ සහිත ව ස්ථාපිත කර ඇති ළමා රෝග හදිසි ප්‍රතිකාර ඒකකයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු මානව සම්පත් ලබාදිම මගින් කඩිනමින් ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කරන ලදි.

මීට අමතරව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මොරටුව වෛද්‍ය පීඨයට දැනට ලබාදිය හැකි සම්පත් පිළිබඳව ද විශේෂයෙන් ම පුස්තකාල පහසුකම් පිළිබඳව ද මෙහි දී පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලැබී ය.

එමෙන් ම කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සහ ගල්ලස්ස මාතෘ හා ළමා රෝහලේ මානව සම්පත් ඌණතා පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරනු ලැබු අතර, එහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවැති ගැටලු රැසක් සඳහා එම අවස්ථාවේ දීම විසදුම් ලබාදුන් අතර, ඉදිරියේ දී අවශ්‍ය ප්‍රමුඛ අවශ්‍යතා සහ අඩුපාඩු සපුරාලීමට අවශ්‍ය සැලසුම් ද ඉදිරිපත් කරනු ලැබී ය.

‌මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මධුෂිකා කරුණාරත්න මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ පිඨාධිපති වෛද්‍ය සේනක පිලපිටිය මහතා ඇතුළු පීඨාධිපතිවරුන් සහ කථිකාචාර්යවරුන්, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මින් මෙන් ම කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.