ට්‍රම්ප් විසින් කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවයි

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත්, ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්දක් පනවන බවට නිවේදනය කර ඇති බවත්, එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවත් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කැනඩාව විසින් කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු අය කරගෙන ඇති බවත්, කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවද, ඉදිරි දින 07 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.