උතුරේ ඉඩම් අක්කර 5,941ක් පවරා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්

උතුරු පළාතේ පිහිටි හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමේ අරමුණින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. 

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, සම්පත් අබේකෝන් සහ සම්පත් විජයරත්නය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. 

පෙත්සම්කරු කියා සිටින්නේ යාපනය, කිලිනොච්චිය සහ මුලතිවු දිස්ත්‍රික්කවල පිහිටි මේ මස 28 වනදා දක්වා හිමිකම් ප්‍රකාශ නොකර තිබෙන ඉඩම් රජයට පවරා ගැනීමේ අරමුණින් ඉකුත් මාර්තු මස 28 වනදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි. 

මේ ආකාරයෙන් උතුරු පළාතේ පිහිටි ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය තුළින් සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබෙන බවත් පෙත්සම්කරු සඳහන් කළා. 

උතුරු පළාතේ පවතින ඉඩම් බොහොමයක හිමිකරුවන් මේ වන විට විදේශගතව සිටින බැවින් ඇතැම් ඉඩම්වල හිමිකම් සම්බන්ධයෙන් නිරවුල් නොවන තත්ත්වයක් පැවතීම නිසා මේ ආකාරයෙන් ඉඩම් පවරා ගැනීමට රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් උතුරු පළාතේ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවයි පෙත්සම්කරු චෝදනා කළේ. 

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.