එලියෙන් ගන්න දෙන බෙහෙත් වට්ටෝරු ගැන වෛද්‍යවරුන් මාර්ගෝපදේශ ඉල්ලයි

රජයේ රෝහල් තුළ වෛද්‍ය සහ වෛද්‍යවරු, නොමැති අවස්ථාවල රෝගීන්ට පිටතින් ඒවා රැගෙන ඒම සදහා බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම පිළිබද කඩිනමින් මාර්ගෝපදේශ සපයන ලෙස‍ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අමාත්‍යංශ ලේකම්වරයාට ලිපි යොමුකරමින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු‍ මතුවී ඇති බව පවසමින්. 

රජයේ රෝහල් තුළ පවතින ඖෂධ හිගය මේ දක්වා සම්පූර්ණයෙන් අවසන් වී නොමැති තත්ත්වයක් තුළ ජනතාව විසින් පරිත්‍යාග කරනු ලබන ඖෂධ, වෛද්‍ය උපකරණ, ශල්‍ය උපාංග, මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රෝහල්වල සත්කාරක සේවා බිදවැටීමකින් තොරව පවත්වාගෙන යාම සදහා උපකාර වී තිබෙනවා. 

2015 වසරේ සිට පසුගිය වසර දක්වා සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබුණු මූල්‍යාධාර, සෞඛ්‍ය සංවර්ධන අරමුදල හරහා ගිනුම්ගතවී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් බිලියන 03 කට අධිකයි. එමෙන්ම මූල්‍ය නොවන ආධාර විශාල ප්‍රමාණයක් රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත ලැබී තිබුණද ඊට අදාළ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ එම ප්‍රමාණය එතරම් විශාල වීම හේතුවෙන්. 

පසුගියදා ගම්පහ පැවති උත්සවයකදී ගම්පහ දිස්ත්‍රික් රෝහලේ සංවර්ධන පදනමේ සභාපති නීතිඥ සුදර්ශනී සේනානායක සදහන් කළේ 2004 වසරේ සිට වසර 20 කට අධික කාලයක් ව්‍යාපාරික සහ පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණු රුපියල් මිලියන 200 කට අධික ආධාර ප්‍රමාණයක් රෝහල වෙත පරිත්‍යාග කිරීමට හැකිවූ බවයි. එමෙන්ම රෝහලේ ඖෂධ හිගය මගහරවා ගැනීම සදහා මසකට මූල්‍ය පරිත්‍යාගයක් ද මේ වන විට සිදු කරන බව ද එම උත්සවයට එක්වෙමින් රෝහල් සංවර්ධන පදනමේ හිටපු සභාපතිනි සුජාතා විජේසිංහ කියා සිටියා. 

මෙලෙස පරිත්‍යාගශිලින්ගේ ආධාර මත ඉදිවන රෝහල් ගොඩනැගිලි මෙන්ම ඖෂධ ඇතුලු‍ පරිත්‍යාග පිළිබද පසුගිය දින වල දැඩි කතාබහට ලක් වූ අතර පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.

 එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි කියා සිටියේ අත්‍යවශ්‍ය ඖෂධයක් රෝහල් තුළ නොමැති අවස්ථාවක ඒවා පිටතින් ගැනීම ගැටලු‍වක් නොවන නමුත් ඒවා නිසි පරිදි ලේඛන ගතවිය යුතු බවයි. 

කෙසේ වෙතත් රජයේ රෝහල් තුළ ඖෂධ හෝ ඖෂධ උපකරණ නොමැති අවස්ථාවල පිටතින් ඒවා රැගෙන ඒම සදහා රෝගින්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම පිළිබද ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් තුළ බියක් මතුවී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න සදහන් කළා. 

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අල්ලස් කොමිසම මගින් විශේෂඥ වෛද්‍යවරියක් අත්අඩංගුවට ගැනීමත් සමග මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද පෙරේදා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබුණේ තොග නොමැති අවස්ථාවක රෝගින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පිටතින් ඖෂධ ලබා ගැනීම සදහා වෛද්‍යවරුන් බෙහෙත් වට්ටෝරු නිකුත් කරන බවයි එහෙත්, මේ වන විට එය අවධානමකට ලක්ව ඇති නිසා කඩිනම් මාර්ග උපදේශනයක් නිකුත් කළ යුතු බව අදාළ ලිපියෙන් දක්වා තිබෙනවා. 

කෙසේ වෙතත් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

 ඔහු කියා සිටියේ, රෝහලේ ඖෂධ හෝ ශල්‍ය උපකරණ නොමැතිනම් හෝ එම උපකරණ අදාළ විශේෂඥ වෛද්‍යවරයාට නොගැලපෙන්නේනම් හෝ රෝගියාගේ පාර්ශවයෙන් ඒවා පිටතින් ගෙන ඒමට කැමැත්තක් දක්වන්නේනම් අදාළ ඖෂධ හෝ උපකරණ පිටතින් මිලදී ගත හැකි බවයි. 

නමුත් ඒ හරහා අයුතු ලෙස ලාභ ඉපයීම සිදු කළ නොහැකි බවත් එවැනි සිද්ධීන්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු සදහන් කළේ.

එසේම අවංකව සේවය කරන වෛද්‍යවරුන් මීට බියවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළා.