කොළඹ මහ නගර සභාවේ මංගල සභා රැස්වීමේදී සභාව විනාඩි 10ක් කල් තබයි

කොළඹ මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීමේදී එහි න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදීමෙන් පසුව, එම රැස්වීම විනාඩි 10කට කල් තැබීමට නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අද (26) උදෑසන පියවර ගත්තා.

මහ නගර සභා ආඥා පනතට අනුව, මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය දින 04කට පෙර සභිකයන් යොමු කළ යුතු වුවද, මෙම මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රය රැස්වීම ආරම්භ වීමට සුළු මොහොතකට පෙර සභිකයන් වෙත ලැබුණු බවයි සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රෝයි බෝගහවත්ත පෙන්වා දී ඇත්තේ.

මෙවැනි නීති විරෝධී න්‍යාය පත්‍රයකට අනුව ස්ථාවර කාරක සභා පත් කළහොත් එම සභාද නීති විරෝධී ඒවා වන බවත්, ඒ අනුව සභාව කල් තබා වෙනත් දිනයක සභාව කැඳවන ලෙසත් සමඟි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා යෝජනා කර තිබුණා.

එහිදී, සභාව විනාඩි දහයක් හෝ පහළොවක් කල් තබා නැවත ආරම්භ කළ හැකි බව උප නගරාධිපති හේමන්ත කුමාර පැවසූ අතර, ඒ අනුව නගරාධිපතිනිය විසින් සභාව විනාඩි 10 කට කල් තබා යළි රැස්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ