සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එහි වාහන කුලී පදනම මත ලබා ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස විත්තියේ නීතිඥයෝ ඊයේ (24) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
විත්තිකරු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ මණ්ඩලයට කුලී පදනම යටතේ ගත් වාහන අවභාවිත කිරීමෙන් රජයට පාඩු කළේ යැයි චෝදනා කර අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කළැයි නඩු 8ක් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.
එම නඩු අතරින් කොළඹ අංක 2 මහාධිකරණය ඉදිරියේ විභාග වූ නඩුව ඊයේ (24) කැඳවිණි. මෙම නඩුව විභාග කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වීම නිසා මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය හමුවේ කැඳවිණි.
එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජන් ද සිල්වා මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයාට සමාන චෝදනා යටතේ පවරන ලද ප්‍රාථමික නඩුකරයක් ලංකා ජයරත්න මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ අවස්ථාවේ විභාගයට ගෙන ඇති නිසා මෙම නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.
එම කරුණු දැක්වීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරිය නඩුව වෙනත් විනිසුරුවරයකුට යොමු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට යොමු කළාය.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එම නඩුව කිරීම සුජීව නිශ්ශංක මහතාට පවරන ලද අතර අදාළ විනිසුරුවරයා චුදිතගේ නඩුකරයක් විභාගයට ගෙන ඇති බැවින් වෙනත් විනිසුරුවරයකුට යොමු කරන බව දන්වා සිටියේය. ඒ අනුව මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතාට යොමු කළේය.
නඩුව අගෝස්තු 20 වැනිදා යළි කැඳවීමට තීරණය විය. මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව සමාන චෝදනා යටතේ පැවරූ තවත් නඩුවක් අද (25) ආර්.එස්.එස්. සපුවිද මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ විභාගයට ගැනේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරයකු සහ හිටපු මන්ත්‍රීවරයකු වන සරණ ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දූෂණ කොමිසම නඩු 8ක් පවරා ඇති අතර ඉන් නඩු 4කින් විත්තිකරු නිදහස්ව ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කර සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් විභාග කර 2020 වසරේ තීන්දුව දුන් එවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ ලංකා ජයරත්න මහත්මිය විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 03ක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩයක් ද නියම කළාය.
විත්තිය එම තීන්දුවට එරෙහිව කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා එම චෝදනාවන්ගෙන් සරණ ගුණවර්ධන මහතා නිදොස් කොට නිදහස් කළේය.
නැවත එම තීන්දුවට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එහි තීන්දුව ප්‍රකාශ කර නැත.
ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජන් ද සිල්වා සහ නීතිඥ ගයාන් රාජසේකර යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.