දූෂණ චෝදනාවලට ලක්වූ ජයවර්ධනපුර වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි ගලයි

– දැනටමත් 92ක් ලැබිලා: 200ක් පෝලිමේ
– පැමිණිලිකරුවන්ටත් මරණ තර්ජන
අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි

ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා EVD හා VP shunt යන අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර රෝහල් කාර්ය මණ්ඩලය හා ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් යටතේ පාලනය වූ බාහිර ආයතනයක් මඟින් එම අයිතම ලබාගැනීමට උපදෙස් දීමෙන් රෝහලට මෙන්ම රෝගීන්ට පාඩු සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් ඇතුළු සැකකරුවන් තිදෙනකු ජූලි 08 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (24) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න සහ එම රෝහලේ ප්‍රධාන ලිපිකරුවකු වන කැකුලන්ද ලියනගේ ඉන්දික හා නිමල් රංජිත් මුතුකුඩ යන අයයි.

නිමල් රංජිත් මුතුකුඩ යන අය සැකකාර විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න මහත්මිය අනීතිකව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකි.

නඩුව කැඳවූ අවස්ථාවේ සැකකාර වෛද්‍යවරිය විසින් තෙවැනි පාර්ශ්වයක් හරහා වෙනත් පෞද්ගලික ෆාමසියකින් රුපියල් පනස් පන්දාහක මුදලකට ගන්නා ස්නායු ශල්‍ය වෛද්‍ය අයිතම ඇයගේ පෞද්ගලික ආයතනය තුළින් රුපියල් එක් ලක්ෂ හැත්තෑපන්දාසක මුදලකට රෝගී පාර්ශ්වයන්ට අලෙවි කර තමන්ට පෞද්ගලික වාසියක් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි සහකාර අධ්‍යක්ෂක (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් පැවසුවාය.

Òස්වාමීනී වෛද්‍ය උපකරණ ලබාගැනීමේ නියමිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි ස්වාමීනී අදාළ වෛද්‍යවරුන් විසින් වාර්ෂික ඇත්තමේන්තුවට ඇතුළත් කරලා තමයි අදාළ ඇස්තමේන්තු රෝහලට ලබා ගන්නේ, නමුත් ස්වාමීනි මෙම නඩුවේ පළමු වන සැකකාරිය වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් කරන්නේ නැහැ.

ඇය විසින් සිදු කරන්නේ තමාගේ වාට්ටුවට ඇතුළත් වෙන රෝගීන්ට අදාළ වෛද්‍ය උපකරණ දෙක ලබාගන්නේ කියලා තුන්වෙනි සැකකාරය ලිපිකරු වෙත යොමු කරනවා. ඒ අනුව එම ලිපිකරු විසින් දෙවැනි සැකකරුගේ දුරකතන අංකය රෝගී පාර්ශ්වයට ලබා දෙනවා. මොහුව සම්බන්ධ කරගෙන වෛද්‍ය උපකරණ ලබාගැනීමේ කටයුතු සම්පාදනය කරගන්න කියලා, පසුව දෙවැනි සැකකරු විසින් එමා ෆාමා කියන ආයතනයෙන් රුපියල් පනස් පන්දාහකට ආසන්න මුදලකට අදාළ වෛද්‍ය උපකරණ මිලදීගෙන පළමු සැකකාරියට අයත් එම්.එන්.එන් මෙඩිකල් ආයතනයට ගෙනල්ලා රුපියල් එක් ලක්ෂ හැත්තෑපන්දාසක මුදලකට තමයි රෝගී පාර්ශ්වයට ලබාදෙන්නේ“ යැයි ඇය කියා සිටියාය.

“ඒ අනුව ස්වාමීනි මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ලබාගත් රෝගීන්ගෙන් අනාවරණය වූ කරුණක් වන්නේ එක් එක් රෝගියාගේ තරාතිරම බලා අදාළ වෛද්‍ය උපකරණයන්ට මුදල් අය කරගෙන තිබෙන බවයි. මෙම පළමු සැකකාරිය, ඒ වගේම ස්වාමීනි මෙම මුදල් පළමු සැකකාරියගේ පෞද්ගලික ගිණුමකට බැර කරගෙන තිබෙන බව විමර්ශනවලින් කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ මුදල් ලබාගැනීම තුළින් මෙම සැකකාරිය දූෂණ විරෝධී පනතේ 111 වගන්තිය සහ අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණය යන වරද සිදු කරලා තියෙනවා. මෙම සැකකාරිය විසින් වාසියක් අත් කරගෙන තිබෙනවා.Ó යැයි ද ඇය පැවසුවාය.

සැකකාර වෛද්‍යවරිය විසින් EVD සහ VP SHUNT භාවිත කරමින් brain death වූ රෝගීන් දෙවන ශල්‍යකර්ම හාට් එක මැෂින් එකට යොදවා ශල්‍යකර්ම සිදු කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ඇය අධිකරණයට පැවසුවාය.

Òස්වාමීනි මේ වනවිට රෝගී පාර්ශ්වයන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව සමහර වෛද්‍යවරු ප්‍රකාශ ලබා දී තිබෙනවා මෙම සැකකාරියගේ වාට්ටුවට ඇතුළත්වෙන සුළු ස්නායු ආබාධ සහිත රෝගීන්ට ශල්‍යකර්මවලට භාජනය කිරීමට අවශ්‍ය නොවුණත් ඔවුන්ව ප්‍රශ්නගත වෛද්‍ය උපකරණ යොදාගෙන ශල්‍යකර්මයට භාජනය කරලා තියෙනවා කියලා.

මෙම ශල්‍යකර්ම ඉතාමත් සංවේදීයි, මොකද මොළය මස්තිෂ්කය තරලයේ, රුධිරයේ සැරව ඉවත් කිරීමට වගේ ශල්‍යකර්මවලට තමා මෙම උපකරණය භාවිත කරන්නේ. අපට ස්වාමීනි ශල්‍යකර්මයට භාජනය වූ රෝගීන් සහ ඥාතීන් පවසලා තියෙනවා. ඒ සම්බන්ධව සමහරක් රෝගීන් මියගොස් තිබෙන බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ස්වාමීනී ශල්‍යකර්මයන්ට භාජනය වූ රෝගීන්ගේ ඥාතීන් අපිට පවසා තිබෙනවා brain death (මැරුණු මොළය) සහිත රෝගීන්ට දෙවැනි ශල්‍යකර්මය කරනවා අදාළ උපකරණ ගෙන්වා ගෙන මැෂින් එකෙන් හාර්ට් එක වැඩ කරන්න සලස්වලා.

ඒ කියන්නේ ස්වාමීනි රෝගියා මැෂින් එකේ තියාගෙන දෙවැනි ශල්‍යකර්මය කරනවා අදාළ වෛද්‍ය උපකරණ යොදාගෙන. අන්තිමට ස්වාමීනි රෝගියාගේ post motian (මරණ පරීක්ෂණයේදී) අනාවරණය වෙනවා, අදාළ රෝගියා මියගිහිල්ලා මේ වනවිට දවස් පහක් කියලා, ඒ වගේම හිස් කබලේ කෑල්ලකුත් අඩු වෙලා කියලා.

ස්වාමීනි මැය හිතා මතාම රෝගීන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා. ස්වාමීනි තමන්ට වාසියක් සලසා සලසාගන්න මෙම පළමු වැනි සැකකාරිය රෝගීන්ගේ අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරලා, අද දින මෙම අධිකරණය හමුවට ඇවිත් ඉන්නවා, මියගිය රෝගීන්ගේ ඥාතීන්Ó යැයි ද අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය පවසා සිටියාය.

සැකකාරියට ඇප ලබාදීම තුළින් විමර්ශනයට බාධා ඇති විය හැකි බව පැවසූ ඇය අධිකරණයෙන් ඉල්ලා සිටිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Ò ඒ වගේම ස්වාමීනි කියන්න ඕනෑ අල්ලස් කොමිසම කිසිම විමර්ශනයක් මාධ්‍ය සංදර්ශනයක් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් සිදු කරන්නේ නැහැ. අපිට ඕනෑම අවස්ථාවක විමර්ශනයකට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට බලතල නීතියෙන් ලබා දී තිබෙනවා, මෙම සැකකාරියට දේශපාලන වශයෙන් ද විශාල බලතල තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ නිසා ස්වාමීනි සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මම ඉල්ලා සිටිනවා.“යැයි ද සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසා සිටියේ, “ස්වාමීනි අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාවේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම විමර්ශනය ආරම්භ වුණා. ඊයේ දිනය වනවිට මෙම සිද්ධිය සම්බන්ධව අපගේ හදිසි ඇමතුම් ඒකකයට දුරකතන ඇමතුම් අනූ දෙකක් පමණ ලැබී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තව 200 දෙනකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගැනීමටත් නියමිතව තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධව පුද්ගලයන් දෙදෙනකු දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් ඔවුන්ට ජීවිත තර්ජන තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතර හිටපු අමාත්‍යවරයකු වන කොල්වින් ආර් ද සිල්වා මහතාගේ දියණියකගේ පුතකු ද සිටිනවා.Ó

Òඒ වගේම ස්වාමීනී, සැකකාර වෛද්‍යවරියගේ වාට්ටුව සම්බන්ධයෙන් ද විමර්ශනයක් අපි සිදු කළා ඒ අනුව ඊයේ දිනය වනවිට එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි සියලු රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. ඒ වගේම අදාළ වාට්ටුවට රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලිකව නවතා තිබෙනවා.Ó

සිද්ධිය සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් හෙට දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී අදාළ සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් අදාළ විනය පියවර ගැනීමට කටයුතු කර බව ද අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥවරුන් ඇප ඉල්ලීමක් සිදු කරමින් කරුණු දක්වනු ලැබීය.

පළමු සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසුවේ “පළමු වන සැකකාරිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිටින එකම ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය බවයි. මැය නැති වීම හේතුවෙන් රෝගීන් විශාල අපහසුතාවකට පත්ව සිටින බවත් ප්‍රතිකාර ලබාගන්න විශාල රෝගීන් සංඛ්‍යාවක් සිටිනවා. මට දැනගැනීමට ලැබෙන පරිදි මැයව අත්අඩංගුවට ගැනීමෙන් පසු අදාළ වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනකු පමණ මියගොස් තිබෙනවා. ස්වාමීනී රජයේ රෝහල් තුළ පිටින් ඖෂධ ගැනීම සුවිශේෂි තත්ත්වයක් නොවේ.

එය සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්, ජයවර්ධනපුර රෝහලේ ද ඒ ආකාරයේම යම් යම් අවස්ථාවලදී ඒ ඒ රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ ඖෂධ රෝහලේ නොමැති අවස්ථාවලදී පිටින් ගෙන්වා ගැනීමට වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා. මෙතනදී සිදුවී ඇත්තේ එයයි. ඒ අනුව මගේ සේවාදායිකාව කිසිදු ආකාරයක පෞද්ගලික වාසියක් ලබාගෙන නැති බැවින් සුදුසු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවාÓ යනුවෙනි.

තුන් වැනි සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවසුවේ සිය සේවාදායකයා පළමු සැකකාර වෛද්‍යවරියගේ උපදෙස් මත ඔහුට නියමිත රාජකාරිය පමණක් සිදු කර ඇති බවයි.

Òස්වාමීනි, පෙරේදා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් නිව්ස් බැලුව ද දන්නේ නැහැ. ස්වාමීනි සිරස මාධ්‍ය ජාලයේ විකාශනය වූ ප්‍රවෘත්ති විකාශනයකදී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ, රෝහල්වල දැනට නොමැති අත්‍යවශ්‍ය ඖෂධ පිටින් ලබාගැනීමට කිසිදු අවහිරතාවක් නැති බව ය. එතකොට මේ ක්‍රියාවලිය නීති විරෝධී ක්‍රියාවලියක් වන්නේ නැහැනේ. රටේ විධායකයේ බලතල තියෙන ඉහළම ඇමැති ධුරයත් දරන ඇමැති කෙනකුයි ඒ කියන්නේ, මගේ සේවා දායකයා කරලා තියෙන්නේ වැටුපට වැඩ කරපු එක පමණයි. අපිට මේ ගැන කිසිම අනුදැනුමක් නැහැ. එම නිසා සුදුසු සැපයක් මත මුදා හරින්න.Ó යනුවෙන් ද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවසීය.

කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන නිමල් රංජිත් මුතුකුඩ නමැත්තා එම වෛද්‍යවරිය අනීතිකව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ සේවය කළ අයකු බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය. එම රෝහල සඳහා අවශ්‍ය ඉහත සඳහන් ආයිත්තම රෝහල් සැපයුම් අංශය මඟින් ඉල්ලුම් නොකර එම සැකකාර වෛද්‍යවරිය හා රෝහල් කාර්ය මණ්ඩලය යටතේ අනීතිකව පවත්වාගෙන යන බාහිර ආයතනයක් මඟින් ලබා ගැනීමට උපදෙස් ලබාදී ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

මෙම අනීතික ක්‍රියාව තුළින් රෝගීන්ට කෝටි තුනක පමණ පාඩුවක් මෙන්ම සැකකාර වෛද්‍යවරිය ඇතුළු බාහිර පාර්ශ්වයට අයුතු ලාභයක් ලැබී ඇති බව ද පෙන්වා දුන්නේය. අදාළ ආයිත්තම රෝහල් සැපයුම් අංශය මඟින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදුව ඇති බවත් ඒ අනුව දූෂණය නම් වරද සිදු කිරීම යටතේ සැකකාර වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය. රෝහලට අවශ්‍ය මෙම අයිතම 2022 වසරේදී සැපයුම් අංශය මඟින් රුපියල් 17,500 පමණ වටිනාකමක් වේ. වර්තමාන වෙළෙඳපොළේ එහි මිල රුපියල් 46,500ක් වන බව ද පෙන්වා දුන්නේය.

සැකකාර වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය යොමු කරනු ලබන බාහිර පාර්ශ්ව මඟින් රෝගීන්ට මෙම ආයිතම සඳහා රුපියල් 120,000 සිට රුපියල් 250000ක් පමණ වටිනාකම් දැරීමට සිදුව ඇති බව ද සඳහන් කළේය. එලෙස ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් 300ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් රෝගීන් 77 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද සඳහන් කළේය.

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.