ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 ක් අමෙරිකාව විනාශ කරයි

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා.

එහි නවතම තත්ත්වය : 6.40 AM

* ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර ඒ අනුව ෆොර්ඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපද හමුදාව සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවයි ඔහු පවසන්නේ.

* ඒ අනුව මේ වන විට සියලුම ගුවන් යානා ඉරාන ගුවන් අවකාශයෙන් පිටත්වී ඇති බවත් ෆොර්ඩෝ වෙත බෝම්බ තොගයක් හෙළන ලද බවයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

* එසේම සිය සමාජ මාධ්‍ය ගිණුමේ  සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, මෙය ඇමරිකා එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට සහ ලෝකයට ඓතිහාසික මොහොතක් බවත් ඉරානය දැන් මෙම යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු බවයි.

* මේ අතර ෆොර්ඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් වෙත ප්‍රහාර එල්ල වූ බව ඉරානය විසින් තහවුරු කර තිබෙනවා.

* ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලය එක්සත් ජනපදය සමඟ ‘පූර්ණ සම්බන්ධීකරණයෙන්’ කටයුතු කළ බව ඊශ්‍රායල නිලධාරියෙක් විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.