සාකච්ඡාව අතරතුර කලහකාරීව හැසිරුණැයි මන්ත්‍රී ඇතුළු 3ක් රිමාන්ඩ්

කුලියාපිටිය නගර සභාපතිවරයා තෝරාගැනීමට හෝටලයකදී පැවැති සාකච්ඡාවක් අතරතුර කලහකාරීව හැසිරුණු බව කියන මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනකු කුලියාපිටිය පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.

මෙලෙස ඊයේ (19) රිමාන්ඩ් ගත වූයේ කුලියාපිටිය නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරමින් කදුරුගස්හේන කොට්ඨාසයේ මන්ත්‍රීවරයා ලෙසින් තේරී පත් වූ ලමප්පුගේ මහේෂ් බුද්ධික නමැති මන්ත්‍රීවරයා, ඔහුගේ පියා සහ සහෝදරයායි. සැකකරුවන් අධිකරණයට බී වාර්තාවක් මගින් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මෙම සිදුවීම නගරසභාව වෙනුවෙන් සභාපතිවරයා තොරාගැනීම වෙනුවෙන් විපක්‍ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් ආසන සංවිධායකවරුන් ඇතුළුව පක්‍ෂ කිහිපයක නියෝජිතයන් එක්ව කළ සාකච්ඡාවක් අවසන්වූ මොහොතේදී සිදුව ඇති කලහකාරී ක්‍රියාවක් බවයි. සැකකාර මන්ත්‍රීවරයා එහිදී සැළසුම් සහිතව හෝටල් පරිශ්‍රයට පැමිණ පහරදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද කී පොලිසිය සැකකාර මන්ත්‍රීවරයා පරිශ්‍රයෙන් බැහැරට ගොස් යළිත් කිහිපදෙනකු සමඟ පරිශ්‍රයට පැමිණ පහරදී ඇති බවද කීය. එමෙන්ම සිද්ධියෙන් අනතුරුව සමගි ජන බලවේගයේ සංවිධායකවරයා හා සභාපති ලෙස නම්කරන ලද මන්ත්‍රීවරයා පැමිණ ස්ථානයට පැමිණිල්ලක් කළ බවත් ඉන් අනතුරුව දිනකට පසුව බාරවූ බවත් පොලිසිය පැවැසීය.

එය මන්ත්‍රීවරුන් අතර ඇති හමුවක් නම් බාහිර පුද්ගලයන් එම ස්ථානයට ගොස් තිබෙන්නේ කුමන පදනමකින්ද යැයි මහේස්ත්‍රාත්වරයා එහි දී ප්‍රශ්න කළේය.

එහි දී සැකකරුවන් වෙනුවෙන් කරුණු කී නිීතිඥයන් කියා සිටියේ සැකකරු පෙරේදා (18) පැවැති සභා සැසිවාරයට යාම හේතුවෙන් පොලිසියට පැමිණීමට නොහැකි වූ බවයි. එමෙන්ම මෙහි පැවැති දේශපාලන රැස්වීමෙන් අනතුරුව පියාට සහ සහෝදරයාට සැකකරුවකු ලෙසින් නම්කොට ඇති මන්ත්‍රීවරයා පණිවුඩයක් එවූ නිසා පරිශ්‍රයට ගොස් තිබූ බවත් එහි දී සිදුව ඇත්තේ ඉතාම සුළු සිද්ධියක් වුවත් පොලිසිය එය වඩා තීව‍්‍රකර දක්වන බවත් පැවසූ නීතිඥයන් මෙය ඇප දීමට හැකි වරදක් බවත් පැවැසීය.

එහි දී පොලිසිය කියාසිටියේ සැකකාර මන්ත්‍රීවරයා නගර සභා මංගල සැසිවාරයට සහභාගී නොවූ බවට නාගරික ලේකම්වරිය ලිඛිතව ලබා දී අති බවත් මේ සම්බන්ධව විමර්ශන අවසන්ව නොමැති අතර තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට ඇති බවත් ය.

කෙසේවෙතත් ඉදිරිපත්වූ සියලු කරුණු කෙරෙහි අවධානය යොමුකළ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් වෙනුවෙන් ඉල්ලා සිටි ඇප ප්‍රතික්ෂේප කළේය. කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතා සැකකරුවන් ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.