ප්‍රතිදේහ එන්නත් ලෙස ලබාදී ඇත්තේ විෂ බැක්ටීරියා සහ ලුණු වතුර බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රදේහ එන්නත් තුළ තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියා සහ ලුණු බවට ජර්මනියේ රසායනාගාරයකදී සිදුකළ පරීක්ෂණ‍කදී තහවුරුවී ඇති බව නීතිපතිවරයා අද (19) අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සහ රිටොක්සිමැප් යන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම ‍ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් ජර්මනියේ ප්‍රතීතකරණ විද්‍යාගාරයක සිදුකළ පරීක්ෂණ වාර්තාවේ අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

එහි දක්වා ඇති පරිදි හිමියුන් ඉමියුනෝග්ලොබියුලින් යැයි යොමු කළ ද්‍රවණයේ කිසිඳු ඖෂධමය ගුණාත්මකභායකින් යුතු නොමැති බවත් හිමියුන් ඉමියුනෝග්ලොබියුලින් නමින් මිනිසුන්ට ලබාදීමට මිලදීගෙන ඇත්තේ මිනිස් සිරුරට අහිතකර විෂ බැක්ටීරියා ඇතුළත් ද්‍රවණයක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

එසේම පිලිකා ‍ඖෂධයක් වන රිටොක්සිමැප් නමින් තිබී ඇති ද්‍රවණයේ පිළිකාවකට එරෙහිව සටන් කළ හැකි කිසිඳු ප්‍රෝටීන අඩංගු අන්තර්ගතයක් තිබී නොමැති බවත් එහි තිබී ඇත්තේ සෝඩියම් ක්ලෝරයිඩ් එසේත් නොමැති නම් ලුණු බවට පෙන්වාදුන් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රතිදේහ එන්නත් ලෙස මනුෂ්‍ය ශරීරයට අහිතර විෂ ජලය සහ ලුණු වතුර ලබාදී ඇති බවත් මේ සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1444 ක මුදලක් වියදම් කර ඇති බවයි.