කෝප් කමිටුව කියන්නේ ප්‍රශ්න අහන, මාධ්‍ය සංදර්ශන තියන, නිලධාරීන් අපහසුතාවයට පත්කරන රියැලිටි ෂෝ එකක් – නාමල්

පාර්ලිමේන්තුවේ මාධ්‍ය සංදර්ශන ගැන සාකච්ඡා කළද, වැඩිම මාධ්‍ය සංදර්ශන තිබෙන්නේ කෝප් කමිටුවේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එය වත්මන් ආණ්ඩුවේ කෝප් කමිටුවේ පමණක් නොව, ඉතිහාසයේ සිටම ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බවයි අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව එහිදී රාජ්‍ය නිලධාරීන් ගෙනැවිත් ප්‍රශ්න අසන බවද, එකම ප්‍රශ්නය දෙතුන් වතාවක් විමසන බවද, නිලධාරීන් අපහසුතාවයට පත්කර මාධ්‍ය ඉදිරියේ ලැජ්ජාවට පත්කරන බවද ඔහු සඳහන් කළා.

සමහර කාරණා රජයේ ප්‍රතිපත්තිමය කාරණා වුව ද, ඒවාට උත්තර දීමට සිදුවන්නේ අදාළ නිලධාරීන්ට බවයි ඔහු පැවසුවේ.

පරීක්ෂණයක් සිදු කිරීම ගැටලුවක් නොවුනද, පරීක්ෂණ සිදුකරන මුවාවෙන් යම් නිලධාරියෙක් අපහසුතාවට පත් කිරීමට අවශ්‍ය නම් හෝ එම නිලධාරීන් අපහසුතාවයට පත්කර තමන්ගේ දේශපාලන වුවමනාව ඉටු කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් පරිවර්තනය කිරීමට උත්සාහ කරන්නේ නම්, එය සාධාරණ නොමැති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

කෝප් කමිටුව වසර ගණනාවක් තිස්සේ වාර්තා ඉදිරිපත් කළද, ඔවුන්ට තීන්දුවක් ගැනීමට බලයක් නොමැති බවත්, අවසානයේදී එය ප්‍රශ්න අසන, මාධ්‍ය සංදර්ශන තබන, නිලධාරීන් අපහසුතාවයට පත්කරන ‘රියැලිටි ෂෝ එකක්’ පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.