කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක ගුණාංගවලින් සංවර්ධනය කරනවා – කොළඹ පුරපතිනිය

කොළඹ නගරයේ ජීවත්වන ජනතාවට ආලෝකයක් ලබාදීමත්, නගරයට යන එන ජනතාවට එය කාර්යක්ෂම නගරයක් බවට පත් කිරීමේ වගකීමත් කොළඹ මහ නගර සභාව වෙත පැවරී ඇති බව කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසනවා.

ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවත්, එහි අඳුරු පැතිකඩ මේ වනවිට කොළඹ වෙලාගෙන ඇති බවත්, අක්‍රමවත් ව්‍යාපෘති හේතුවෙන් කොළඹ විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන බවත්, ඒ සියල්ලට විසඳුම් ලබාදිය යුතු බවයි අද (18) නගරාධිපති තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථා‍වට එක්වෙමින් ඇය සඳහන් කළේ.

කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක ගුණාංගවලින් සංවර්ධනය කිරීමට සිදුවන බවද, ඩිජිටල්කරණය හරහා සේවා කාර්යක්ෂම කිරීමට හා මහජන බදු මුදල් නාස්තිය අවම කිරීමට බලාපොරොත්තු වන බවද ඇය ප්‍රකාශ කළා.

කොළඹ නගර සභාවේ පාලනය සිදුවිය යුත්තේ ජනතාව කේන්ද්‍ර කර ගනිමින් බවත්, සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත්, එයට සහයෝගය ලබාදෙන ලෙසත් ඇය ඉල්ලා සිටියා.

දියුණු, තිරසාර, ප්‍රජා මූලික සමාජයක් නිර්මාණය කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලබාදෙන ලෙසයි කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.