GovPay පිළිබඳව බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය පිළිබඳව බස්නාහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් 100කට අධික පිරිසක් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාරගේ මූලිකත්වයෙන් මෙම සැසිය පැවත්වුණු අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව එය මෙහෙයවනු ලැබුවා.

GovPay පද්ධතිය මගින් භෞතික මුදල් පරිහරණය අවම කරමින්, තත්‍ය කාලීනව රාජ්‍ය ආදායම් එකතු කිරීමට සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීමට අවස්ථාව සලසා දෙන අතර, රාජ්‍ය ආයතන සඳහා GovPay ගෙවීම් ක්‍රමය භාවිතා කිරීම මගින් වඩාත් වේගවත් හා කාර්යක්ෂමව ආදායම් එකතු කිරීමේ හැකියාව, මෙහෙයුම් වියදම් සැලකිය යුතු ලෙස අඩු කිරීම, තත්‍යකාලීන විශ්ලේෂණ හරහා වැඩි දියුණු කළ තීරණ ගැනීමේ හැකියාව ආදී ප්‍රතිලාභ ලැබෙන බවද මෙහිදී සඳහන් වුණා.

පුරවැසියන්ට ද දිගු පෝලිම්වල රැඳී නොසිට, ඕනෑම ස්ථානයක සිට ආරක්ෂිතව මාර්ගගතව (online) ගෙවීම් සිදුකිරීමට මෙමගින් අවස්ථාව උදාවන බව මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

පුරවැසියන්  මුල් කරගත් පාලනය කෙරෙහි අවධානය යොමු ක‍ොට, දත්ත මත පදනම් වූ සේවා ආකෘතියක ජාතික අවශ්‍යතාවය පිළිබඳව මෙම දැනුවත් කිරීමේ සැසිය මෙහෙයවූ ICTA සභාපති සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය විසින් අවධාරණය කර සිටියා.

මේ වනවිටත් රාජ්‍ය ආයතන 43ක් GovPay පද්ධතිය සමග සම්බන්ධ වී රුපියල් මිලියන 50කට අධික ආදායමක් උපයා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

GovPay පිළිබඳ වැඩිදුර තොරතුරු https://govpay.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.