වෘත්තීය පුහුණුව සක්‍රීය කිරීමෙන් දරිද්‍රතාවය දුරු කරගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
චර්යාමය‚ පාරිසරික මෙන්ම යහධර්ම මත ගොඩනැඟෙන ක්ලීන් ශ්‍රී ලංකාවක් අරමුණු කරගත් ජාතික වැඩසටහනට සමගාමීව වෘත්තීය අධ්‍යාපන අංශයේ ජාතික‚ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන 311ක් කේන්ද්‍ර කරගනිමින් 2025.07.04 දින සිට දිවයින පුරා පැවැත්වීමට නියමිත “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන පිළිබඳ ඔරුගොඩවත්ත කේ ටෙක් තාක්ෂණ පුහුණු ආයතනයේ පැවති දැනුම්වත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ප්‍රකාශ කළා ය.
නුපුහුණු ශ්‍රමිකයින් වෘත්තීය පුහුණුවට යොමු වීමේ අඩුවක් පවතින බවත්, පුහුණු ආයතන ආකර්ෂණීය නොවීම ඊට ප්‍රධාන හේතුවක් වන බැවින් මේ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත් එම අවස්ථාවට සහභාගී ව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
දේශීය හෝ විදේශීය රැකියා වෙළඳපොළේ ඉහළ වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීමට ඉල්ලුම සහිත ක්ෂේත්රයක වෘත්තීය පුහුණුවක් ලබා ගත් තරුණයෙකුට කිසිම අපහසුවක් නැහැ. එහෙත්, රැකියා විරහිත නුපුහුණු ශ්‍රම බලකාය වෘත්තීය පුහුණුවට යොමු වීමේ අඩුවක් අප දකිනවා. පුහුණු ආයතන ආකර්ෂණීය නොවීම ඊට ප්‍රධාන හේතුවක්. මේ තත්ත්වය වෙනස් කිරීමට අප, දිගු කාලීන ක්‍රියාමාර්ග සහ සැලසුම්වලට ඉදිරියේදී යා යුතු වෙනවා.
එහෙත් එතෙක් අපට නිහඬව සිටිය නොහැකියි. මේ වෘත්තීය අධ්‍යාපන අංශයේ ශක්තිය ඉතා විශාලයි. සියලු ආකාරයේ වෘත්තීය හා කාර්මික විශේෂඥතාවයන් ඔබ සතුයි. ඒ වගේම අවශ්‍ය උපකරණ සහ මෙවලම් ඔබ සතුයි. 125‚000කට ආසන්න නව යොවුන් ශිෂ්‍ය ප්‍රජාවක් ඔබ සමඟ සිටිනවා. ඒ නිසා Clean Sri Lanka වැඩසටහනේ පාරිසරික ස්ථම්භය සමඟ සමාන්තර වන දැවැන්ත වැඩසටහනකට හොඳ අවකාශයක් විවෘත වී තිබෙනවා. මේ සඳහා බාහිර ආයතන හා ප්‍රජා සහභාගීත්වය ද අපට ලබා ගත හැකි යැයි ද පැවසුවා ය.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,
“ජූලි 04 වනදා ජාතික සමාරම්භක වැඩසටහන මඟින් අපි හොඳ ආරම්භයක් ලබා ගනිමු. එය අඛණ්ඩව පවත්වාගෙන යමු. ප්‍රධාන ඉදිකිරීම්/ප්‍රතිසංස්කරණ හැර සුළු නඩත්තු හා පරිසර අලංකරණයන් මඟින් අපේ පුහුණු මධ්‍යස්ථාන තාරුණ්‍යයට ආකර්ෂණීය තැන් බවට පත් කරමු. ඒ වගේම සමාජීය සහ යහධර්ම පරිවර්තනයන් ද අප තුළත් අපගේ ආයතන තුළත් වර්ධනය කරගත යුතුමයි.”
“ රැකියා වියුක්ත ශ්‍රම බලකාය අතර 72%ක් පමණ වන නුපුහුණු ශ්‍රමික ප්‍රතිශතය ඉදිරි වසර 05තුළ 25%ක් දක්වා අඩුකර ගැනීමට අපට හැකියාව ලැබෙනවා නම් සහ අස්වැසුම ලබන පවුල් ඒකක වලින් එක් අයෙකු හෝ වෘත්තීය පුහුණුවට කැඳවිය හැකිනම් ඒ සියලු පවුල් ඒකකවලට අවම වශයෙන් රුපියල් 50‚000 -75‚000ක් මාසික ආදායමක් ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.”
“ ඒ නිසා ජූලි 04 ඔබ ආරම්භ කරන්නේ ඔබගේ පුහුණු මධ්‍යස්ථානය පිරිසිදු කිරීම පමණක් නොවේ. ඒ මඟින් තාරුණ්‍යය‚ වෘත්තීය පුහුණුවට කැඳවා එම පවුල්වල දරිද්‍රතාවය දුරු කිරීමටත්, ආර්ථික අර්බුදය Clean කිරීමටත් ඔබ දායක වෙනවා යනුවෙන් පැවසුවා ය.”
මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, Clean Sri Lanka මෙහෙයුම් කාර්යාංශයේ ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයේ ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.