ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අටවැනි (08) ඉන්දීය හා ශ්‍රී ලංකා වාර්ෂික ආරක්‍ෂක සංවාදය සඳහා, ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං (Shri Rajesh Kumar Singh) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය නියෝජිත පිරිස සමඟ දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී, වයිස් අද්මිරාල් ක්‍රිෂ්ණා ස්වාමිනාදන් (Vice Admiral Krishna Swaminathan), 2025 ජුනි මස 05 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
ඒ අනුව, ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී වෙත සම්මාන මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, සිදුකෙරුණු මෙම නිල හමුවේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහ ඉන්දීය උප නාවික හමුදා ප්‍රධානී අතර දෙරටේ ආරක්‍ෂක සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.