වරාය පිවිසුම් අධිවේගී මාර්ගය 2026 මාර්තු මාසයේදී විවෘත කරනවා – ප්‍රසන්න ගුණසේන

වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වැඩකටයුතු 2026 වසරේ මාර්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඊයේ (06) එම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩබ්. කන්දම්බි, ව්‍යාපෘතිය භාරව සිටින චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් කෝපරේෂන් ආයතනයේ නියෝජිතයන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි බවයි සඳහන් වන්නේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක මූල්‍ය ආධාර යටතේ 2019 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු පසුගිය කාලයේ රටේ තිබූ ආර්ථික අර්බුදය නිසා ප්‍රමාද වූ නමුත්, දැන් එහි ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.