ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් ශ්‍රීලනිප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වමින් පැනවූ අතුරු තහනම් නියෝගය ජූලි 23 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළා.
නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.
මෙහිදී තිලංග සුමතිපාලගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා තීරණය කර ඇති බවයි.
ඒ අනුව, නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා දිනයක් ඉල්ලා සිටි අතර, පෙත්සම නැවත ජූලි 23 වන දින කැඳවීමට අභියාචනාධිකරණය විසින් නියම කරනු ලැබුවා.