සරණ ගුණවර්ධනට එරෙහි නඩුවක් අගෝස්තු 07 කැඳවීමට නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව සාවද්‍ය මුදල් පරිහරණය යටතේ ගොනුකර තිබෙන නඩුවක් අද (27) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබෙනවා.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කේ.ජී.වී. ඇන්ටනී පෙරේරාගේ සාක්ෂිය පැමිණිල්ල වෙනුවෙන් සටහන් කර ගැනීම සිදුකර තිබෙනවා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 07 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළ අතර, එදින නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබාදුන් රුපියල් කෝටි 12කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.