ඖෂධ වර්ග 233ක් ගේන්න ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන්

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 233ක් ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

මෙම වසරේ පළමු මාස 5 තුළ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

පසුගිය වසරේ දී නියමිත කාලසීමාව තුළ ඖෂධ මිල දී ගැනීම සම්බන්ධ තීන්දු, තීරණ නිසියාකාරව නොගැනීම දැනට මෙරට පවතින ඖෂධ හිඟයට හේතුව වී ඇතැයි 2025 වර්ෂයට අදාළ ඖෂධ මිල දී ගැනීම සඳහා 2024 වසරේ පළමුවැනි මාස පහේදීම ටෙන්ඩර් කර ඇත්තේ ඖෂධ වර්ග 67 ක් පමණක් වීම ඊට උදාහරණයක් ලෙස පෙන්වාදිය හැකි යැයි ද ඇමැතිවරයා පැවසුවේය. කොළඹ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පෙරේදා (24) කියා සිටියේය. රජයේ රෝහල් පද්ධතිය තුළ භාවිත කරන ඖෂධවලින් සියයට 65ක් මෙරටට ආනයනය කරන ඖෂධ බවත්, එමෙන්ම සියයට 35ක් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ඖෂධ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න