ඉහළ පෙළේ මාඕවාදී නායකයෙක්ව ඝාතනය කෙරේ

ඉන්දියාවේ ඉහළ පෙළේ මාඕවාදී නායකයෙකු ඝාතනය කළ බව ඉන්දීය හමුදාව නිවේදනය කර තිබේ.

මධ්‍යම චතිස්ගාර් ප්‍රාන්තයේ ඉන්දීය ආරක්ෂක හමුදා සමඟ සටන් කරමින් සිටියදී මොහු මියගිය බව ඉන්දීය හමුදාව පවසා ඇත.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසන්නේ, “නම්බල කේෂව රාඕ” නැමති මාඕවාදී නායකයා මෙලෙස ඝාතනය කළ බවයි.

බසවරාජු සහ තවත් අන්වර්ථ නාම කිහිපයකින් ද ඔහුව හඳුන්වනු ලබයි. ඔහුත් සමග තවත් කැරලිකරුවන් 27 දෙනෙකු එම සටන්වලදී මියගොස් ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

සටනේදී එක් ඉන්දීය පොලිස් නිලධාරියෙකු ද මිය ගිය බව, වාර්තා වී ඇත. ඉහළපෙළේ මාඕවාදියෙකු රජයේ හමුදා විසින් ඝාතනය කරනු ලැබුවේ දශක තුනකට පසුවය.

ඉංජිනේරුවෙකු වන රාඕ, තහනම් කරන ලද ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ නැතහොත් මාඕවාදී කණ්ඩායමේ ප්‍රධාන ලේකම්වරයා විය. ඔහු ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සියේ වඩාත්ම අවශ්‍ය ලැයිස්තුවේ සිටි අයෙක් බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවට ප්‍රශංසාව පළ කර සිටියි.