ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 28 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර, එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන බව සඳහන් කර තිබෙනවා.
2022 අංක 45 දරණ දේශීය ආදායම් සංශෝධන පනතේ යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අර්ථකථනය කර තිබෙන බවත්, එය වැරදි සහගත බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
සිය සේවාදායකයින් සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු දීමනාවලට හිමිකම් නොකියන අතර, කිසිදු සාධාරණ කරුණු විමසීමකින් තොරව සිය සේවාදායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩගත කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවයි නීතිඥවරයා පෙන්වා දී තිබෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන අතර, ඔවුන් ස්වාධීන සේවා සපයන්නන් බවත්, 2022 වසරේ සංශෝධිත දේශීය ආදායම් පනත යටතේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් 2023 වසරේ ජනවාරි 01 සිට රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.
මෙම ගැටළුව හේතුවෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවීම් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත්, ඒ අනුව පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් වලට තමන් සහාය පළ කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.