ලෝක සෞඛ්‍ය සංවිධාන සමුළුවට ඇමැති නලින්ද ස්විට්සර්ලන්තයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වැනි වාර්ෂික මහා සමුළුවට සහභාගි වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විට්සර්ලන්තය බලා ඊයේ (18) පිටත්විණි.

“එකම සෞඛ්‍යමත් ලොවක්” තේමාව කර ගනිමින් මෙම සමුළුව ජිනීවා නුවර දී පැවැත්වෙන අතර අද (19) සිට 27 වැනිදා දක්වා සමුළුව පැවැත්වේ.

මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගි වීමට නියමිත අතර එම සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් 5000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

සමුළුව සඳහා එක්වන සියලු පිරිස්වල සහභාගිත්වයෙන් මෙහි දී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එහි දී ඉදිරිපත් වන යෝජනා, අදහස් හා පර්යේෂණ දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසර තුළ ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් නියමිතය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහභාගි වේ.

සන්ධ්‍යා කරුණාරත්න