රාජ්‍ය ආයතනවල පිහිට වූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට විශේෂ වැඩපිළිවෙළක්

අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට එය නිරීක්ෂණයට හැකියාව ලැබෙන සේ එම අභ්‍යන්තර ඒකක නියාමනය සඳහා පද්ධතියක් පිහිටුවීමට නියමිත අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය විසින් ඊට ප්‍රතිපාදන සපයන බවයි සඳහන් වෙන්නේ.

නව පද්ධතිය ආරම්භ කිරීමත් සමග, එම ඒකකවලට පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවේ සිට, ඊට ප්‍රතිචාර දක්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම දක්වා වන ක්‍රියාවලිය නියාමනයට හැකියාව ලැබෙන බව අල්ලස් කොමිසම සඳහන් කර සිටියා.

රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන දූෂණ හා අක්‍රමිකතා වැලැක්වීම හා ඒවා වාර්තා කිරීමත්, ඊට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීම සඳහාත් අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයක් අනුව පළමු අදියරේදී අමාත්‍යංශ සියල්ලේම හා තෝරාගත් රාජ්‍ය ආයතන 40ක එම අභ්‍යන්තර ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.