රජයේ ප්‍රමුඛතම සිල්ලර වෙළෙඳ ජාලය ලෙස සැලකෙන ලංකා සතොස මෙතෙක් ඉතිහාසයේ දිනක වාර්තා වූ ඉහළම විකුණුම් අගය ලෙස රුපියල් කෝටි 87ක (මිලියන 870) මුදලක් ඉකුත් අප්‍රේල් මාසයේ දී හිමි කර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පාලනාධිකාරිය පවසා ඇත්තේ මේ වසරේ පළමු කාර්තුවේ පාරිභෝගිකයන්ට දැවන්ත සහනයක් සලසමින් භාණ්ඩ මිල සියයට 23කින් පහළ දැමීම නිසා මේ ලාභය හිමි වූ බවයි.
මෙම සුවිශේෂී ඉලක්ක ළඟා කරගැනීමට ලංකා සතොස පාරිභෝගික විශ්වාසය සහ වෙළඳපොළේ ලංකා සතොස ශක්තිමත් ස්ථානගත කිරීම ඉවහල් වූ බව ලංකා සතොස සඳහන් කරයි.
පසුගිය වසරේ (2024) එම කාලපරිච්ඡේදය හා සසඳන විට භාණ්ඩ මිල 23%කින් සැලකිය යුතු ලෙස පහත හෙළීමටත්, වෙළඳ පරිමාවේ 5%ක වර්ධනයක් සහ වටිනාකමින් 6%ක වර්ධනයක් වාර්තා කිරීමටත් ලංකා සතොස මේ අනුව සමත් වී ඇත.
භාණ්ඩ මිල සැලකිය යුතු ලෙස පහත හෙළීමට පරිපාලන වියදම් අඩුවීම, සමස්ත අපතේ යාම අඩුවීම, ප්‍රවාහන වියදම් අඩුවීම් වැනි දෑ බලපා ඇතැයිද එහි සඳහන් වේ.
කළමනාකරණය සහ වියදම් පාලනය හේතුවෙන් පරිපාලන වියදම සියයට 20කින් අඩු කර ගැනීමට හැකි වී ඇති අතර සමස්ත අපතේ යෑම සියයට 28කින් අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. එමෙන්ම ප්‍රවාහන ජාලය ප්රශස්ත කිරීම සහ කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රම භාවිත කිරීම මඟින් ප්‍රවාහන වියදම සියයට 7කින් අඩු කර ගැනීමට හැකියාව ලැබුණු බව ද සතොස ආයතනය සඳහන් කරයි.
මේ හේතුවෙන් පසුගිය කාර්තුවේ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ භාණ්ඩ ලබාදීමට හැකියාව ලැබුණු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික ඉල්ලුම් ඉහළ ගොස් ඇති බවත් මේ නිසා ඉහළ සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වූ බවත් එහි සඳහන් කර තිබේ.
තවදුරටත් වර්ධනය සහ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා ලංකා සතොස උපායමාර්ගික පියවර රැසක් ක්‍රියාවට නැංවීමට සූදානම් බවත් කියා තිබේ.
ධනාත්මක සේවා සංස්කෘතියක් ගොඩනැඟීම, සේවකයන් අතර සහයෝගීතාව, ගෞරවය සහ ඵලදායිතාව වර්ධනය කිරීම තුළින් උසස් සේවා පරිසරයක් නිර්මාණය කිරීම, සතොස සාමාජික සුබසාධනය සහතික කිරීම, සතොස සාමාජිකයන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම සහතික කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සතොස සාමාජිකයන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම, අඛණ්ඩ පුහුණු වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධන අවස්ථා ලබාදීමෙන් සේවකයන්ගේ කුසලතා සහ දැනුම වැඩිදියුණු කිරීම, අලෙවිසල් නවීකරණය කිරීම, පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ නවීන වෙෙළඳ අත්දැකීමක් ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි අපගේ අලෙවිසල් අදියර වශයෙන් වැඩිදියුණු කිරීම වැනි පියවර රැසක් ඒ අතර වන බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.