ඉදිරි මාස 08 සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ මිල දී ගැනීමට රුපියල් බිලියන 200ක මුදලක් රජයෙන් වෙන් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භාණ්ඩාගාරයෙන් නියමිත පරිදි නිසි අයුරින් මුදල් වෙන් කර තිබියදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමේ ක්‍රියාවලියට යන කාලය අවම කර ගැනීම පිළිබඳව සම්පූර්ණ අවධානය යොමු කළ යුතු බවත් භාණ්ඩාගාරයෙන් වෙන් වන මුදල් ප්‍රමාදයකින් තොරව සැපයුම්කරුවන්ට ලබාදීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවසුවේය.
මින් ඉදිරියේදී ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට දේශපාලන වශයෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.
ඖෂධ හා සෞඛ්‍ය ආශ්‍රිත උපකරණ සැපයීමේ කටයුතුවලට ඍජුවම දායක වන සියලුම නිලධාරීන් සහ බලධාරීන් මෙරට සෞඛ්‍ය සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක් ස්ථානයකට රැස්කර ඖෂධ සහ උපකරණ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති වන ප්‍රමාදයන් අවම කර ගනිමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේ හා දැනුම්වත් කිරීමේ අරමුණින් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැඟිල්ලේ ශ්‍රවණාගාරයේදී පෙරේදා (04) පැවති රැස්වීමට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.
මින් ඉදිරියට රෝහල්වලට අවශ්‍ය ඖෂධ පිළිබඳව තොරතුරු කඩිනමින් සහ ක්‍රමවත්ව ලබාගෙන අදාළ රෝහල් වෙත එම ඖෂධ සැපයීමේ ක්‍රියාදාමයට ගතවන විශාල කාලය සහ ප්‍රමාදයන් අඩු කර ගැනීමට කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ඒ තුළින් ඖෂධ සැපයීමේ ක්‍රියාදාමය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.
මෙම කාර්යය මෙතැන් සිට ආරම්භ කර පවතින ගැටලු සහ අඩුපාඩු අවම කර ගනිමින් 2026 වසර වන විට මෙරට ඖෂධ සැපයීමේ ක්‍රියාදාමය ඉතා විධිමත් සහ විශිෂ්ට අයුරින් සිදු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී සියලු පාර්ශ්වයන්ට දැඩිව අවධාරණය කළේය.
විශේෂයෙන්ම මින් ඉදිරියට පුරවැසියන්ට අවශ්‍ය ගුණාත්මකබවින් ඉහළ ඖෂධ ප්‍රමාදයකින් තොරව අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ යුතු බවත්, මුදල් වෙන් කර තිබියදී අවශ්‍ය ඖෂධ නියමිත පරිදි ලබාදීමට අදාළව මෙම ක්‍රියාවලිය නිවැරදිව සිදු නොවනවා නම් රජය ඍජුවම මැදිහත්වී ඖෂධ නිෂ්පාදනය කරන රටවල රජයන් සමඟ සාකච්ඡා කර ඖෂධ ලබාගැනීමේ ක්‍රමවේදයකට යාමට සිදුවනු බව ද පැවසීය.
මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් හිඟයකින්, ප්‍රමාදයකින් තොරව අඛණ්ඩව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියත් ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතුත් විධිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් එම කටයුතු අඛණ්ඩව හා ක්‍රමවත්ව පවත්වා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඖෂධ සහ උපකරණ පිළිබඳ තාක්ෂණික ඇගයීම ඉතා වැදගත් කාර්යභාර්යක් ඉටු කරන්නේ යැයි ද, එම ක්‍රියාවලියේ පැවති අඩුපාඩු, දුර්වලතා සහ ප්‍රමාදයන් ද මේ වනවිට හඳුනාගෙන ඇති අතර එම කරුණු ද සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියට බාධාවක්ව පැවතියේ යැයි ද ඇමැතිවරයා පැවසුවේය.
පසුගිය කාලය පුරාවටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට කිසියම් හෝ චෝදනා එල්ල වූයේ සමස්තයක් ලෙස ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ ගැටලු මත බවත්, ඖෂධවල ගුණාත්මකභාවය, මිල සහ හිඟය ද ඊට ප්‍රබලව හේතු වූ බවත් ඇමැතිවරයා පැවසීය.
ස්වාභාවිකව කිසිවකු නොසිතන අවස්ථාවන්හි සිදුවන සිදුවීම්වලට වඩා මෙම ගැටලුව සංකීර්ණ බවත් එබැවින් එම තත්ත්වයන් වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කර ඇති අතර ඊට යහපත් නව එක් කිරීම් ඉදිරියට ද සිදු කළ හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයුම් කමිටු නියෝජනය කරන සියලුම නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශ නිලධාරීන්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ වෛද්‍ය සැපයීමේ අංශය යන ආයතනවල නිලධාරීන් ද, විශේෂඥ වෛද්‍ය විද්‍යායතන සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා විශේෂඥ වෛද්‍ය විද්‍යායතන නිලධාරීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරු එක්ව සිටියහ.







