පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥභාවය වංචනික ලෙස ලබාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා වහාම අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (3) නියෝග කළාය.
නාමල් රාජපක්ෂ මහතා නීතිඥභාවය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කර සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
අල්ලස හෝ දූෂණය පිටුදැකීමේ පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත ජයසූරිය මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව විමර්ශන නිලධාරිහු අධිකරණයට කරුණු දැක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දීමේදී කිසියම් වංචාවක් සිදු කර ඇද්ද යන්න පිළිබඳව වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි විමර්ශන නිලධාරිහු මෙහිදී සඳහන් කළහ.
Òස්වාමීනි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරමින් විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අදාළ ලේඛන ආදිය ලබාගන්න තිබෙනවා. එම අවධියේ සිද්ධියට අදාළ නිලධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශනය සිදුකිරීමට කටයුතු කරනවා.Ó යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි විමර්ශන නිලධාරියා තවදුරටත් කරුණු දැක්වීය.







