ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ.
අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පෙරේදා (02) ප්‍රකාශයට පත්කර ඇති අතර හෙට (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වෙයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කර තිබෙන අතර, එහිදී ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇත.
අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාව පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යවත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීම කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා සියයට 10%ක තීරු බද්දක් ඇතුළත් වන බව ද අමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙන බව ද වාර්තා වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට 44%ක තීරු බදු පැනවීමක් සිදුකර ඇත. එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් 5අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
කාම්බෝජයට 49%ක තීරුබදු පැනවීමක් සිදුකර ඇති අතර වියට්නාමයට 46%ක තීරුබදු පැනවීමක් සිදුකර තිබේ.
බංග්ලාදේශයට 37%ක, තායිලන්තයට 36%ක, චීනයට 34%ක, ඉන්දියාවට 26%ක බදු පැනවීමක් සිදුකර ඇත. යුරෝපීය සංගමයට ද 20%ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 12.2%ක තීරුබදු පැනවීමක් සිදුකර තිබිණි. මෙම නව බදු පැනවීමත් සමඟ මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇඟලුම් අපනයනයන් සිදු කරනුයේ අමෙරිකාවට වන අතර මෙම බදු පැනවීම මඟින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන් වෙයි.
පසුගිය 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇත. මේ වසරේ ජනවාරි මාසයේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 346කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබේ.







