නවීන තාක්ෂණයෙන් යුත් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රැපිඩ් ස්ට්‍රැටජි ඩිජිටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී (01) පැවසීය.
ආරම්භයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මහනුවර සහ මීගමුව අධිකරණ සංකීර්ණ තෝරාගෙන ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් පත්කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.
ඉබ්බාගමුව, ලාහුගල, මොරවැව, මුරුක්කන්, පුලියන්කුලම්, වෙට්ටිකුලම් වැනි දුෂ්කර ප්‍රදේශවල අධිකරණ ස්ථාපිත කරන බවත් ජනතාවගේ පහසුව උදෙසා නව අධිකරණ ස්ථාපිත කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
සුහුරු අධිකරණ ශාලා ඉදිකරන බවත් පූර්ව නඩු විභාග කිරීමෙන්, නඩු ප්‍රමාදය වළක්වාගත හැකි අතර, විශාල නඩු සංඛ්‍යාවක් තිබෙන දිසා අධිකරණ තෝරාගෙන මෙම සංකල්පය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.
දිසා අධිකරණයේ පවතින නඩුවලින් 38%ක් රුපියල් මිලියන 2කට අඩු මුදල් සම්බන්ධ ආරවුල් බවත් ඒවා විසඳීම සඳහා සුළු හිමිකම් අධිකරණ තවදුරටත් ස්ථාපිත කර ප්‍රමාදයකින් තොරව නඩු විසඳීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවසුවේය.
ස්වර්ණා විජේකෝන්,
සන්ධ්‍යා කරුණාරත්න








