එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමීපතම මිතුරන් බවත්, පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී ධවල මන්දිරයෙන් නික්ම යෑමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රුසියානු මිතුරාට දුරකතන ඇමැතුම් 7ක් ලබා දුන් බවත් අමෙරිකාවේ ජනප්‍රිය මාධ්‍යවේදියකු වන බොබ් වුඩ්වර්ඩ් විසින් එළිදැක්වීමට නියමිත නවතම කෘතියකින් අනාවරණය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වසරේ මුල් භාගයේදීද ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතන සංවාදයක නිරතවූ බවත් බොබ් වුඩ්වර්ඩ්ගේ කෘතියෙහි සඳහන් වන බව වාර්තා වේ.
කොවිඩ් වසංගතය සමයේදී එවකට ජනාධිපති ධුරය දැරූ ට්‍රම්ප් රුසියානු ජනාධිපති පුටින්ගේ පෞද්ගලික පරිහරණයට කොවිඩ් පරීක්ෂණ යන්ත්‍රයක් ද තෑගි කර ඇතැයි ද එම කෘතියේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මාධ්‍යවේදියාගේ කෘතියෙන් හෙළි වී ඇති තොරතුරු පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඔහු සුරංගනා කතාවක් ගොතා ඇති බවකි. එහි තමා සම්බන්ධව පළ කර ඇති සියලු කරුණු අසත්‍යය බව ද ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ලබන සතියේ නිකුත් වීමට නියමිත බොබ් වුඩ්වර්ඩ්ගේ කෘතිය ‘වෝ’ ලෙස නම් කර ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ව්ලැදිමිර් පුටින්ගේ සමීප මිත්‍රත්වය පිළිබඳ එම කෘතියට කරුණු රැසක් ඇතුළත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.