යුද හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් රැසකට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ අද (10) දිනට යෙදෙන 75වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත එම උසස්වීම් ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක නිලධාරීන් 131 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලබා ඇත.

එමෙන්ම, නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හි බලලත් නිලධාරී II නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 99 දෙනෙකු බලලත් නිලධාරී I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 185 දෙනෙකු බලලත් නිලධාරී II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 380 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 346 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 152 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලැබූහ.