RDA ඉංජිනේරු සංගමය අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

වැටුප් විෂමතා ගැටලුවක් ඇතුළු ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් අද (21) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසයි. 

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී බලධාරීන් සමග සාකච්ඡා සිදුකළ ද එහිදි ලබාදුන් පොරොන්දු මේ දක්වාත් ඉටු නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව ඔවුන් පෙන්වා දෙයි. 

අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් “අද දෙරණ” සමග අදහස් දැක්වු මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමේය සභාපති උමේෂ් අලුතාපල මහතා,

“RDA ඉංජිනේරුවරු RDAයෙන් පිටත දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වේවා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වේවා ගොඩක් කමිටුවලට සහභාගී වෙනවා. මේ දේවල්වලින් ඉවත් වෙන්නත් ඊට අමතරව සියලුම මාර්ග සංවර්ධන අධිකාරියේ පනතින් පැවරුණේ නැති නමුත් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා සිදුකරන RDA ඍජුව සම්බන්ධ නැති කටයුතුවලින් ඉවත්වෙන්නත් තීරණය කරලා තියෙනවා. මේකේ බලපෑම වන්නේ ව්‍යාපෘති සම්බන්ධීකරණ කටයුතු සඳහා අපි සම්බන්ධ නොවීම තුළින් ගැටලු රැසකට මුහුණදෙන්න සිදුවෙනවා. විසඳුමක් නොලැබුණොත් අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන්නත් කටයුතු කරනවා.”