ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය සම්බන්ධීකරණ සංසදයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගීව තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සංසදය පැවැත්වුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙවර සංසදය පැවැත්වුණේ “පොදුරාජ්‍ය මණ්ඩලය පුරා පිළිකා මර්දනයේ අනාගත හැඩගැස්වීම” යන තේමාව යටතේය.
ලැන්සෙට් ඔන්කොලොජි “Lancet Oncology” පොදුරාජ්‍ය මණ්ඩලීය වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පිළිකා පාලනය සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම හමුවේ මුලසුන හෙබවූයේ ගයනා රාජ්‍යයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය
H.E. Leslie Ramsammy මහතා විසිනි.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම හමුවට එක්වූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ සභාපතිවරයා ලෙසය.
මෙම නිල සංචාරය සඳහා අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා, ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, සුමිත් දසනායක මහතා සහ සෞඛ්‍ය අංශයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව තිබේ.
ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව මැයි මස 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.








